ජනවාරි 25 ඉඳන් පෙබරවාරි 7 වෙනකං දවස් දොළහක් බිංගෝව දිහා බැලුවේවත් නැහැ.ප්‍රතිඵල ලැබුණා. සනීපයි.
ජනවාරි 24 මගේ උපන්දිනේට කලින් දවස. වයිෆ්ට ඕනේ වුනේ ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් කුඹුක ළමා නිවාසෙට කෑම වේලක් දෙන්න. දින වෙන් කරන් තිවුන නිසා අපි ඔක්කොම කන්න බොන්න ඕන කරන දේවල් බිංගෝ වට දාගෙන උස්සන් ගිහිං දුන්නා එදා හවස.
ළමයි සෙල්ලම් කරනවා අපි යනකොට. කෑම බීම බෙදලා ඉවර වෙලා අපි ඉක්මණින් එන්න පිටත් වුණත් ටවුමට ඇවිත් ආපහු හරවං ගියා බැඩ්මින්ටන් රැකට්, ෂටල් එහෙම අරගෙන. පොඩි එවුං පොඩි කාලේ සෙල්ලං කරන්න ඕනේ පලු පැලෙන්න.
ඔටෝ චාජ් වෙලා, කරන්ට් ගියහම ඔටෝ පත්තු වෙන ලයිට් බල්බ් ටිකක් ගෙනිහින් දෙන්න අදහසක් තියෙනවා ළමා නිවාසෙට ඊළඟ සැරේ. කරන්ට් නැති වෙලාවට කන්නේ බොන්නේ වොෂ් රූම් යන්නේ කළුවරේනේ පුංචි පැටව්. පොඩි ටෝච් එකක් තියෙනවා කිව්වා. ඒ වුනාට එහෙම මදිනේ.
ජනවාරි 25 මගේ උපන්දිනේට බිංගෝ එකෙන් මං වයිෆ්ව එක්කං ගියා ටාජ් සමුද්‍රා. ගෝල්ෆේස් වටරවුමෙන් දකුණට හැරිලා වමට දැම්මම පාකින් එක. ඕනේ හයි ෆයි තැනකට ගිහිං ලැජ්ජාවක් නැතිව බහින්න පුළුවන් හොඳ පෙනුම තියෙන කා එකක් තමයි බිංගෝ ව. ඒ අතින් නම් ආයේ ඒ කා එක සුපිරියක්ම තමයි.
රෑ බුෆේ එක ඕපන් අපි යද්දි. සුප් ජාති දෙකක්. සුප් එක්ක කන්න පාන් ජාති දහයක් විතර. මස් ජාති තිවුනා බීෆ් පෝක්. වෙස්ටන් කෑම තිවුණා. සැලඩ් ජාති තිවුනා. ඕනේ නම් ගමේ විදියට රතුබතුයි වෑන්ජනයි තිවුනා. ඩෙසට් තිවුනා ලොකු රේන්ජ් එකක්. අපි දෙන්නටම කන්න වියදම පහළොස් දාහයි. කමක් නැහැ වදේ. කලාතුරකින් නේ.
හැබැයි එකක්. අපි දවසක් සිනමන් ග්රෑන්ඩ් බුෆේ එකකට වාඩි වුනා මතකයි. එතන නම් ටාජ් සමුද්‍රා වලට වඩා හොඳයි කියලයි මට හිතෙන්නෙ. ටාජ් හොඳ නැහැ කියනවා නෙවෙයි. සිනමන් බුෆේ එක ටිකක් ලොකුවට තිවුන වගේ තමයි ඔළුවට එන්නෙ. තව සැරයක් කාල බලල හරියටම කියන්නම්.
සාදය මාරයි. කාල ගෙදර ආවා. නිදා ගත්ත. උදේ ඇහැරිල වැඩට ගියා. වැඩ කළා. ආයේ ගෙදර ඇවිත් කාල බීලා ටීවී එක ඉස්සරහ වාඩි වෙලා නිව්ස් ඇහුවා (වයිෆ්ගේ). නිදා ගත්ත. උදේ ඇහැරිල වැඩට ගියා. බිංගෝව පළවෙනි වතාවට වොෂ් කරන්න ඕනේ කියන එක හිතේ තිවුනා. නමුත් ඒක යට ගියා. උඩ ආවා. යට ගියා.
"අන්ඩ වොෂ් නම් කරන්නම එපා. හයි ප්‍රෙෂ වෝට ජෙට්ස් අල්ලන්න දෙන්නම එපා. ළඟ ඉඳගෙන බොඩි වොෂ් දාන්න දෙන්න. සර්විස් සෙන්ටවල ඉන්න පොඩි කොල්ලොන්ට ඊවී ගැන තාම එච්චර හරි හමන් වැටහීමක් නැහැ මිස්ට"
බ්‍රවුන්ස් එකේ ඉංජිනේරු මහත්තය මාව දැනුවත් කළා. එයාලගෙම වොෂින් සර්විස් එකක් තිවුන නම් යන්න තිවුනා මට හිතේ විශ්වාසෙන්. තාම එහෙම මොකුත් නැහැලු. අඩුම තරමේ වීල් අලයින්මන්ට් එකක් කරන්නවත් සොෆ්ට්වෙයා ලැබිල නැහැලු.
අන්න කියනකොට මතක් වුණේ. බිංගෝ එකේ පිටිපස්සෙන් බැලුවම ටයර් පොඩ්ඩක් ඇදයි වගේ පේනවා. උඩින් ඇතුලට ගිහින්. යටින් එළියට ඇවිත්. නිකං කකුල් බකල් වගේ. ඒ ඒකෙ හැටිලු. හදල තියන හැටිලු. ස්පීඩ් යනකොට ගානට සෙට් වෙනවලු.
මේක ඉන්ටනෙට් එකේ විස්තර වෙනවා camber කියන වචනය යටතේ. ගහල බලන්නකෝ නිකමට. camber තියෙනකොට වාහනයක් වංගුවක් ගන්නකොට ටයර් හොඳට පාරට තද වෙන්න සෙට් වෙන්නේ මේ camber design එක නිසාලු. මොකක් හරි කමක් නැහැ ගැටළුවක් නැත්නම්.
බිංගෝ ව වොෂ් කරන වැඩේ — ශික්. තාම කරගන්න බැරි වුනා නේ.
2026 පෙබරවාරි 7. කවදාවත් අමතක වෙන්නේ නැහැ මට ඒ දවස නම්. සෙනසුරාදා දවසක්. වාද්දුවේ පුංචි අම්මව බලන්න යන්න ඕනේ කියල තමයි අපි ලෑස්ති වුනේ. හරිම ආසාවෙන් තමයි අපි එහෙ යන්නෙ. එයා උයන කෑම මාරම රහයි.
පුංචි අම්ම මගේ අම්මගේ නංගි. දැන් හැත්තෑවකට කිට්ටුයි. ඒ වුනාට පුදුම දහිරියක් තියෙන යකඩ කෙල්ල. කසාද බඳින්න විදිහක් නැතිව වඳුරඹ මහ ගෙදර උය උයා දැලි වලං හෝද හෝද හිටියා අඬ අඬා. හතළිහ පැනල කොහොම හරි කසාද බැන්දා. වාද්දු ඇවිත් මහත්තයාගේ ගෙවල් දොරවල් දියුණු කළා. මල් පැල, මල් පෝර බිස්නස් එකක් පටන් අරං පළාතම ලස්සන කළා.
කොරෝනා වලදි මහත්තය නැති වුනා. ඇඩූ කඳුලෙන් බිස්නස් නවත්තල තමන්ටම කියල හිටපු ගෙදරම පැත්තකින් මහපවුලට කරදරයක් නොවෙන්න ලස්සනට පුංචි ගෙයක් හදාගෙන තනි ජිවිතයක් පටන් ගත්ත. ඒත් අදටත් ගම පුරා හැමෝම පුංචි අම්මව බලන්න එනව. මරණෙට, දානෙට, මඟුලට ගමේ මිනිහට වඩා සළකනව පුංචි අම්මට ඒ පැත්තේ මිනිස්සු.
ටික වෙලාවක ඉඳන් මම බිංගෝව ඉස්සරහ හිටගෙන. ස්මාර්ට් කී එකත් අතේ තියං. කී එක බ්ලින්ක් වෙන්නේ නැහැ. කා එක වෙනද වගේ මං කිට්ටු වෙනකොට ලයිට් පත්තු වෙලා සයිඩ් කණ්නාඩි දිග ඇරෙන්නෙත් නැහැ.
අන්ලොක් බට්න් ප්‍රෙස් කරලා බැලුව කීප සැරයක්. කවදාවත් එහෙම කරන්න ඕනේ වෙලා නම් නැහැ. නමුත් කෝකටත් ඔබල බැලුව මොනා හරි වෙයිද බලන්න. මොන. මෙලෝ හැලහොල්මනක් නැහැ.
එදා චාජිං ගන් එක එළියට ගන්න බැරි වුන වෙලාවේ දාපු හීන් දාඩිය පාර මට ආයේ සෙට් වීගෙන එනවද කොහේදෝ. පුදුම බයක් අසරණ කමක් දැනෙන්නේ ඒ වගේ වෙලාවට.
"ඉංජිනේරු මහත්තය. අනේ සමාවෙන්න ඕනේ මේ සෙනසුරාදා නිවාඩු දවසෙ කෝල් කරනවට. මේ මාර කේස් එකක් නෙ —"
එයාට වැඩි විස්තරයක් කියන්න ලැබුනේ නැහැ මට.
"ආයේ කතා දෙකක් නැහැ. කා එකේ 12V බැටරිය බැහැල මිස්ට"
අඩේ.
ජපන් ඇල්ටෝව පැද්ද අවුරුදු දහයකට වඩා. මාස ගණන් වාහනේ ගාල් කරල තියන්න ඇති රට වටේ. අව්වට වේලි වේලි, වැස්සට තෙමි තෙමි, හුළං වැදි වැදි, දූවිලි නනා. කවදාවත් බැටරියෙ ප්‍රශ්නෙකට ස්ටාර්ට් නොවී තිවිල නැහැ.
12V බැටරිය මාරු කරන්න ඕනේ කාලේ කිට්ටු වෙනකොට වෝනින් ආවා. කලට වෙලාවට බැටරි එක මාරු කළා දෙතුන් වතාවක්. මේ මොන මඟුලක්ද මේ කියන්නේ. යකෝ සති දෙකයි නේ හු බිංගෝ ව නවත්තල තිබ්බෙ. සොරි. උන් හිටි තැන් අමතක වෙන්නේ නැද්ද කියන්නකො මේ හතර බීරි කතාවලට.
"නැහැ මිස්ට. ඊවී වෙනස්. වාහනේ දුවනකොට තමයි 12V පොඩි බැටරිය ලොකු ලිතියම් බැටරි එකෙන් චාජ් වෙන්නේ. දුවන්නේ නැතුව තිබුනොත් 12V චාජ් එක බහිනව. දැන් ඉතිං ජම්ප් ස්ටාට් එකක් දෙන්න ඕනේ ඕකට"
හම්මට. ඇඩෙනවා.
කුණාටුව මැද්දේ මං කල්පනා කරන්න ගත්ත ප්‍රවේසමෙන්. ජම්ප් ස්ටාට් දෙන්නත් 12V බැටරි එකේ කනෙක්ටස් හොයා ගන්න ඕනේ. ඊට කලින් බිංගෝවෙ බොනට් එක ඇර ගන්න ඕනේ. බොනට් එක ඇර ගන්න කලින් දොරක් ඇර ගන්න ඕනේ. ස්මාට් කී වැඩ කරන්නේ නැහැනේ.
එතකොට —
බිංගෝව ඔහොම ටික දවසක් තිවුන වගේ ඔහේ තියෙද්දෙන්. කවුරුවත් උස්සන් යන එකක්යැ. මං පික්මී එකක් දැම්ම අපිට වාද්දු යන්න. සඳුදට බලනව මොනා හරි ක්‍රමයක්.
වැඩ සිද්ද වෙන්නෙත් නිකං නොන්ඩියට වගේ. වූලින් බිංගෝ කා එකක්ම ආවා කියහන්කෝ අපිව පික් කරන්න. අපි දෙන්න ෆුල් හොල්මං. බෑග් උස්සන් කරබාගෙන කා එකට නැගල අපි ගල් ගිලල වගේ හිටිය ඉස්සරහ බලාගෙන. එදා නිකං පිස්සු වගේ.
ඊළඟ සතියේ දවසක රෑ බ්‍රවුන්ස් එකේ මෙකැනික් කෙනෙක් ආවා බයිසිකලේකින්. පණ ගැහෙනව ඉතිං මං එවෙලේ. මොනවගේ පරිප්පුවක් සෙට් වීගෙන එනවද දන්නේ නැහැනේ. අතේ සල්ලිත් නැහැ ඒ වෙලේ ලොකුවට.
එයා වැඩකාරයා. වම් පැත්තේ දොරේ හැන්ඩ්ල් කප් එක ගලවල මැනුවල් කී එක මගෙන් ඉල්ලගෙන දොර ඇරිය අඩි භාගයක් විතර. එච්චරයි පුළුවන්. ඒ පැත්තේ බිත්තියක් නෙ. ඊට පස්සේ වහලෙ එල්ලිලා කකුල් ඇතුළට දාලා අර අඩි භාගේ ඉඩෙන් වාහනේ ඇතුළට ගිහින් දකුණු පැත්තේ දොර ඇරිය. ඔන්න මට ආයේ හුස්ම වැටෙන්න පටන් ගත්ත.

වම් පැත්තෙ දොර ඇරගෙන අපි දෙන්නගෙන් එක්කෙනක්ටවත් ඇතුළට යන්න බැරි වුනා නම් මං හිටියෙ අහල පහල පොඩි එකෙක්වත් අඬ ගහගන්න. ඔය ඉන්නෙ මැරෑටි පොඩි ඇම්ඩන් ල, එහෙන් මෙහෙන් තියෙන හරස් පාරවල් වල පොල්පිත්තෙන් ක්‍රිකට් ගහ ගහ. මරු මේ වගේ වැඩ වලට.
ඒකත් බැරි වුනා නම් ටයර් යටට පොල්පිති රිංගවල ගේට්ටුව ඇරල මගේ බිංගෝ ව අදිනව බිත්තියෙන් ඈතට. ඒත් බැරි නම් යකඩ රෝද හතර හතර අල්ලපු හොඳ හයිය යකඩ තට්ටු හතරක් අරං ඇවිත් ටයර් යටට රිංගවල අදිනව. කොහොම හරි දිනනව.
"මිස්ට ඩ්‍රයිව සීට් එකේ වාඩි වෙලා බ්‍රේක් පාග ගන්නකො. මං කරන්න ඕන ටික කියන්නම් සැරින් සැරේ —"
බොනට් එක උස්සල තියල මෙකැනික් ජම්ප් ස්ටාට් දෙන්න ලෑස්තිය. ඕන කරන ගැජමැටික්ස් ඔක්කොම අරං ඇවිත්. මගෙ බොක්ක. පැලෙන්න ආදරෙයි ඕයි.
මං ඉතිං ඕවර් ඇක්ටින් දඟලානා ඒ වෙලේ. වලකට වැටිලා දැනෙන බයයි වලෙන් ගොඩ එන්න ඔන්න මෙන්න තියෙන කොට දැනෙන සංතෝසෙයි මික්ස් වෙලා මං තනිකර ගෝතකරුමයක්. මොනා වුනත් මෙකැනික් තේරුම් ගත්ත මාව.
"මිස්ට ඔයා ජම්ප් ස්ටාට් දෙන්න. මං ඩ්‍රයිවින් සීට් වාඩි වෙන්නම්"
ඒ පාර නම් වැඩේ හරි ගියා. මගේ බිංගෝ ව ලයිට් පත්තු වෙලා සයිඩ් මිරර්ස් දිග ඇරගෙන ඉස්සරහට යන්න ලෑස්තිය.
"මිස්ට ඔයා දැන් අඩුම තරමේ කිලෝමීටර් දහයක්වත් වාහනේ පදින්න. කොහේවත් නවත්තන්න එපා. ආයේ 12V බැටරි එක බහියි. ෆෝන් එක ළඟ තියා ගන්න. අවුලක් වුණොත් මට ගන්න. මං එන්නම්. සර් පැදල ඉවරවෙනකං මං මෙතන ඉන්නව. ඕකේ — දැන් යන්න සර්"
විනාඩි පහළොවක් විස්සක් යනකොට මං නිකං රොබෝ වාගේ. මහරගම පැත්තට යනවා. ඩිපෝව ගාවින් යූ ටර්න් දානවා. බොරල්ස්ගමුව පැත්තට යනවා. පිරිවෙන හංදිය පහු කරල ෂෙඩ් එක ඉස්සරහින් යූ ටර්න් දානවා. ආයේ ඩිපෝව වෙනකං ගිහිං යූ ටර්න් දානවා. ආයේ ෂෙඩ් එක ඉස්සරහින් යූ ටර්න් දානවා. ආයේ ඩිපෝව ඉස්සරහින් යූ ටර්න් දානවා. ඔන්න ආයේ ෂෙඩ් එක ඉස්සරහින් යූ ටර්න් දානවා. ඔන්න ආයේ ඩිපෝව ඉස්සරහින් යූ ටර්න් දානවා. එහෙම පිටින්ම මෙරි-ගෝ-රවුන්ඩ් මානසිකත්වයක් ඒක.
පැය භාගයකට පස්සෙ මං ගෙවල් පැත්තට හැරෙව්ව. පව් කොල්ල බයිසිකලේ උඩ වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබා ඉන්නවා මං එනකම්. වාහනේ නැවත්තුවම එයා ඇවිත් වාහනේ ඔක්කොම සෙටින්ග්ස් චෙක් කළා. ඒකටත් සෑහෙන වෙලාවක් ගියා.
"හැමදාම වාහනේ පදින්න ඕනේ මිස්ට. ඊවී එහෙමයි. නවත්තල තිවුණොත් 12V ඩවුන් වෙනවා"
ඔහොම දෙයක් දන්නවනම් මං හැමදාම බිංගෝවෙන් වැඩට යනවනෙ මඟුල. වාහනේ පරිස්සම් කරන්න නේ මං අවුවේ කර වෙවී වැස්සට පෙඟි පෙඟී ස්කුටියෙ යන්නෙ. පාරේ නිකං දුක් විඳින්න මට පිස්සුවක් ඇතෑ.
එදාම තීරණය කළා ස්කුටිය විකුණනවා කියල. ඒක පදින්න වෙන්නේ නැහැ මේ යන විදියට. ස්කුටියත් විකුණල කරුමෙකට බිංගෝවත් කොට උඩ ගියොත් පික්මී දාගෙන යනවා වැඩට කෙහෙම්මල.
පුට්බයික් දෙකකුත් තියෙනවා කොවිඩ් එකට ගත්තු. බැරිම වුණොත් ඒවා එළියට අරං පිහිදාලා චේන් ඔයිල් කරලා පදිනවා. හොඳයිනේ. කොලෙස්ටරෝල් අඩු වෙයි.
ඉතිං ඊවි පදින ඔයාල මට වෙච්ච මේ සිද්දිය පාඩමකට අරගෙන 12V බැටරිය ගැන අවධානයෙන් ඉන්න. ලොකු ලිතියම් බැටරිය නම් ඉතිං ඔයාල නිතර ස්ලෝ චාජිං / ෆාස්ට් චාජිං කරනවනෙ. ඒක කොච්චර චාජ් වෙලාද කියලත් ඩෑෂ් බෝඩ් එකේ පේනවා. නමුත් 12V බැටරිය ගැන නම් එහෙම විස්තරයක් පෙන්නේ නැහැ නේ. ඒක චාජ් වෙන්නේ අපි බිංගෝ ව ඩ්‍රයිව් කරන කොට විතරයි.
අනෙක් ඊවි ගැන නම් ලොකුවට කියන්න දන්නේ නැහැ. නමුත් බිංගෝවේ මෙහෙම ප්‍රශ්නයක් තියෙන බව ඔයාගේ ඔළුවට ගියා නම් මට ඒ ඇති. ඔයා 12V බැටරිය ගැන අවධානයෙන් ඉඳීවි නේ. මට හිතුනොත් Daraz එකෙන් හරි Temu එකෙන් හරි බැටරි චාජ් එක මයින්න පුළුවන් ඩිජිටල් මීටරයක් ගේනවා. පෝටබල් ජම්ප් ස්ටාට් එකකුත් එක්ක. තව — ජැක් එකකුත් ඕනේ.
එක අතකින් 12V බැටරියේ විස්තර පෙන්නන icon එකක් screen එකේ තිවුණත් අපිට ඒ ගැන අමතක වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. 12V බැටරිය අන්තිම අඩියට වගේ බහිනකොට ෆෝන් එකට sms එකක් එන විදිහේ වැඩ පිළිවෙලක් තිබ්බ නම් මාරු නේද. මොන තරම් වැඩ ගොඩකද අපි ඉන්නේ. sms එකක් ආවම මතක් වෙනවනේ.
මං බිංගෝ ව ගෙදර ගෙනත් අදට මාස හතරයි දවස් හතරයි. ගොඩක් දේවල් තියෙනවා ඉතිං ඔයාලට කියන්න. වෙලාවක් නැහැනේ.
එළියේ තැන තැන ආයේ තෙල් පෝලිම්. 2022 අවුරුද්දේ ජූනි 22, විලියම් හංදියේදී කොහුවල වෙනකම් තිවුණු තෙල් පෝලිමට එක්කාසු වෙලා, එන එන බවුසරේ ගණන් කර කර, බවුසරේක තෙල් ලීටර් ගාණ අපි ඉස්සරහින් තිවුණු වාහනවල ටැංකි වලට අල්ලන තෙල් ලීටර් ගාණින් බෙද බෙදා, කවද තෙල් හම්බ වේවිද කිය කියා ලතැවි ලතැවි, රෑට මදුරු කොයිල් පත්තු කරගෙන, පාරේ කඩවලින් මොනා හරි කකා — මගේ පුංචි ඇල්ටෝ වේ 12V බැටරිය එදත් බැස්සා. හිත හොඳ මුස්ලිම් මහත්තයෙක් ජම්ප් ස්ටාට් කරලා දුන්නා. පෝලිම ඉස්සරහට යන අතරේදීම — පැය 30 කට පස්සේ 2022 අවුරුද්දේ ජූනි 23 වෙනිදා තෙල් ටික ගහගෙන, එදා අන්තිමට එකට එකතු වුනු අපි ඩ්‍රයිවර් මහත්තුරු දහදෙනෙක් ඉන්න මං හදපු ඒ WhatsApp group එක තාම තියෙනවා.
ඒ Group එකේ intro එකට මං ලීව විස්තරේ කියවනකොට මට අද දැනෙන හැඟීම මොකද්ද කියල කියා ගන්න බැහැ.
ලෝකේ තියෙන ඔක්කොම පෙට්‍රල් ඉවරවෙනකං නම් අපි ජීවත් වෙන එකක් නැහැ. නමුත් මේ intro එකේ පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි එච්චර කටුක කාලයක ඇති වුණු පොදු ගැටළුවක් නිසා නාඳුනන අපි දහ දෙනෙක් අතර ඇති වුණු ඒ නොසැලෙන බැඳීම.
Group Members ල අදටත් ඒ Group එකේ හොඳටම active . මට නම් දැන් තෙල් ප්‍රශ්නයක් ලොකුවට නැහැ තමයි. නමුත් මං මේ Group එකෙන් අයින් වෙන්නේ නැහැ. ඩ්‍රයිවර් මහත්තුරු ටික ආයේ එක තැනකට සෙට් වුණොත් මං කෑම බීම ටිකක් ලෑස්ති කරගෙන ගිහින් බෙදල එනව. මට එයාලව අත්හරින්න බැහැ.
2022 අවුරුද්දේ ජූනි 23 ඓතිහාසික දවසක්. එදා තමයි මං හිතා ගත්තෙ කවද හරි මං මේ තෙල් ප්‍රශ්නෙන් නිදහස් වෙන විසඳුමක් හොයා ගන්නවා කියල. විසඳුම මොකද්ද කියල එදා එච්චර පැහැදිළි අදහසක් ඔළුවේ තිබුනේ නැහැ තමයි. නමුත් අධිෂ්ඨානය ලොකුවටම හිතේ පැල වුණේ එදා.
බිංගෝ පදින ඔයත් මං වගේම තෙල් ප්‍රශ්නෙන් ගැලවුනා නේද. සතුටුයි.
අදට මේ මදෑ. තව විස්තර ටිකක් එකතු කරගෙන ආයේ ඉක්මනින් එන්නම්. එතෙක් ඔබට ජය. මොනා හරි අඩු පාඩු තිවුනොත් කමෙන්ට් එකක් දාන්නකො. එහෙන් මෙහෙන් වැරදි ඇති. නිදිමතේ මහ රෑ නෙ මේවා ටයිප් කරන්නෙ. ගුඩ් නයිට් එහෙනම්. ඔන්න අපි ගියා.