ඇයි මෙහෙම බ්ලොග් එකක්?
"බිංගෝ කා එකක් පදිමු" කියල බ්ලොග් එකක් සිංහල භාෂාවෙන්ම නිර්මාණය කරන්න හිතුනේ කරුණු කාරණා කිහිපයක් උඩ. එකක් තමයි ඉලෙක්ට්‍රික් වාහන ලංකාවේ භාවිතා කරන වාහන ලෝලීන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වුණත්, ඊට සමගාමීව ඉලෙක්ට්‍රික් වාහනයක් මිළදී ගැනීම, නඩත්තු කිරීම, චාර්ජ් කිරීම, චාජිං පොයින්ට්ස් තියෙන තැන්, චාජිං පොයින්ට්ස් වල මිළ අය කිරීම්, ඒ වෙනුවෙන්ම භාවිතා කරන්න වෙන ඇප්ස්, වගේ වැදගත් මාතෘකා ගැන අන්තර්ජාලය තුළ ඊටම වෙන්වුණු සිංහල බ්ලොග් ප්‍රමාණය සීමා සහිත වීම. මං ඒක ප්‍රායෝගිකවම අත් දැකපු දෙයක්.
යූ ටියුබ් සහ වෙනත් සමාජමාධ්‍ය තුළ ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන ගැන ඕනෑ තරම් අදහස් හුවමාරු වීම සිදු වෙනවා තමයි. නමුත් සවිස්තරාත්මකව තමන්ට අවශ්‍ය දේ දැන ගන්න ගියාම, ඉගෙන ගන්න ගියාම, පුංචි පහේ ප්‍රමාදයක් සිදු වෙනවා කියන එක තමයි මගේ හැඟීම. ඔයා සමහරවිට මාත් එක්ක එකඟ නොවේවි. නමුත් මං දැන් පදින ඉලෙක්ට්‍රික් වාහනය නිසා මම මුහුණ දුන්නු ගැටළු වගේම ඒවාට විසඳුම් හොයාගන්න මං වෙහෙසුණු හැටි දිහා හැරිල බැලුවම මට හිතෙන්නේ නම් එහෙම තමයි.
විශේෂයෙන් මේ බ්‍රවුන්ස් සමාගමෙන් හඳුන්වල දුන්නු බිංගෝ කා එක ගැන නම් සිංහලෙන් නිර්මාණය වුනු බ්ලොග් සයිට් එකක් මට තාම හම්බුණේ නැහැ. ඒ නිසාම බිංගෝ කා එක ගැන සිංහල භාෂාවෙන් දැනුවත් වෙන්න ඉතිං සමාජ මාධ්‍ය තමයි ඊළඟට අපිට ඉතුරුවෙන විකල්පය. ටික කාලයක් යන කොට බිංගෝ ව ගැන ගොඩක් විස්තර අප අතරේ හුවමාරු වේවි. දැන ගන්න ලැබේවි. ඒ වුනාට තාම නම් මදි.
බිංගෝ ව ගැන ලස්සන යූ ටියුබ් රිවීව් එකක් දැක්කා හදිසියේ. කෝකටත් මෙතෙන්ට අමුණලා තියන්නම්. කාටහරි ප්‍රයෝජනවත් වේවිනෙ.
සමාජ මාධ්‍ය තොරතුරු වලට අමතරව, My WULING+ කියල ඇප් එකකුත් තියෙනව ඩවුන්ලෝඩ් කරගන්න. මටනම් හරි ගියේ නැහැ ඒක. ඔක්කොම තියෙන්නෙ ඉන්දුනීෂියනු භාෂාවෙන් ද කොහේදෝ. වූලිං බිංගෝ කා එක ඇසෙම්බල් කරන්නේ එහෙනෙ.
ඒ කා එකටම හදපු අත් පොතක් තියෙනව ෆ්‍රී ඩවුන්ලෝඩ් කර ගන්න. කා එක ගන්නකොටත් හම්බවෙනවා ප්‍රින්ටඩ් එකක්. නමුත් ඉතිං ඒකෙ තියෙන්නේ පොදුවේ අදාළ වෙන කරුණු නෙ. මට අවශ්‍ය, බිංගෝ කා එකක් පාවිච්චි කරන කොට, අපි එක එක්කෙනාට මුහුණ පාන්න වෙන, වෙනස් වෙනස්, අමුතු අමුතු ප්‍රශ්න සාකච්ජා කරන්න පුළුවන් වර්චුවල් ස්පේස් එකක් හදන්න. සාර්ථක වෙයිද දන්නේ නැහැ. ට්‍රයි එකක් දාල බලනව කෝකටත් කියල.
දෙවැනි කාරණාව තමයි, මේ වෙලාවේ — 2025 දෙසැම්බර් — ශ්‍රී ලංකාවේ තියෙන කා මාකට් එක. කා එකක් ගන්න කෙනෙක්ට ප්‍රධාන ඔප්ෂන් දෙකක් පේන්න තියෙනව මේ වෙලාවේ. සෙකන්ඩ් හෑන්ඩ් පෙට්‍රල් කා එකක් ගන්නවද, එහෙමත් නැත්නම් ඒ වගේම ගාණකට බ්‍රෑන්ඩ්නිව් ඉලෙක්ට්‍රික් කා එකක් ගන්නවද කියන එක. දෙපැත්තේම වාසි අවාසි තියෙනවා. ඉතිං මේ දේවල් විවෘත මේසයකට ගෙනාවනම් හොඳයි කියල හිතුන එකත් මේ බ්ලොග් එක හැදෙන්න තවත් හේතුවක්.
තුන්වැනි කරුණ තමයි, මට ඕනෑ වුනා ඉලෙක්ට්‍රික් වාහනයක බැටරි එක චාජ් කරන්න යන වෙලාව (ස්ලෝ / ෆාස්ට්), ඒ අනුව යන්න පුළුවන් දුර, දරන්න වෙන වියදම, චාජිං පොයින්ට්ස් තියෙන තැන්, ඒවායේ සේවා තත්වය වගේ විස්තර කාලයක් තිස්සේ එකතු කරල ඒ දත්ත අනුව හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහේ සාරාංශයක් වගේ දෙයක් හදන්න. දුර ගමන් යනකොට ප්ලෑන් කරන්න ලේසියි නෙ. අමාරුවේ වැටෙන්නෙත් නැහැ. වියදමත් අඩුයි.
පුංචි ඉල්ලීමක් ඔයාගෙන්. බ්ලොග් පෝස්ට් කියවනකොට කලබලේ කියවන්න එපා. මං මේක ලියන්න බලන්නෙත් පොඩ්ඩක් අර නවල් එකක් වගේ ඔයාට ආසාවෙන් කියවගෙන යන්න පුළුවන් ස්ටයිල් එකකට. වැරදි අඩුපාඩු දැක්කොත් මට ඊමේල් එකක් එවන්න (journeysupp@gmail.com). කැමති නම් ලයික් කරන්න. කමෙන්ට් කරන්න. ඔයා කැමති විදිහක්.
ලොකුම අරමුණ බිංගෝ කා එක ගැන ප්‍රයෝජනවත් විස්තර ටිකක් එක තැනකට එකතු කරල තියෙන එක තමයි. ලයික්ස්, කමෙන්ට්ස් පස්සෙ එච්චර දුවන්න අදහසක් නැහැ.
ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් වාහන භාවිතාව පිළිබඳව එක්ස්පර්ට් කෙනෙක් වේවා එහෙනම්. නැවත හමුවන තෙක් ආයුබොහෝවේවා!