මං බිංගෝ කාරෙකක් ගත්ත හැටි
2014 වගේ ඉඳන් මං පැද්දේ සුසුකි ජපන් ඇල්ටෝවක්. මගේ පළවෙනි කාර් එකත් ඒක තමයි. ලක්ෂ පහක් කෑෂ් දීලා ලක්ෂ දහයාමාරක් ලීස් කරලා ගත්තේ ඒ දවස් වල. මාසෙකට ලීස් වාරිකේ රුපියල් තිස්පන්දාහක් විතර වගේ. කොහොම හරි අමාරුවෙන් ගෙවා ගෙන ආවා. ගෙවන්න ඉතුරු වුනු බැලන්ස් එක ලක්ෂ හයාමාරකට විතර අඩුවුනාම ඔක්කොම එකපාර සෙට්ල් කරලා දැම්මා.
ඒ මගේ ජපන් ඇල්ටෝව මං හොඳට පරිස්සම් කළා. ලොකු ලොකු වියදම් ආවා. 2002 හදපු වාහනයක් නේ. ලක්ෂයක් විතර වියදම් කරලා එන්ජින් එක අලුතෙන් තිබ්බා. ගියර් බොක්ස් තිබ්බා. දෙපාරක් ෆුල් පේන්ට් එක කළා. මෙකැනිකල් පැත්ත නිතරම අප්ඩේට්. හාඩ්වෙයා රිප්ලේස් කළා. කුලන්ට්, එන්ජින් ඔයිල්, බ්රේක් ඔයිල්, ගියර් ඔයිල් ගැන මං නිතරම හිටියේ අවධානයෙන්.
වාහනේ සර්විස් කරන්න ගියාම හරි හදන්න ගියාම හරි වාහන ගැන දන්න කවුරු හරි මොනවා හරි කිව්වොත් මං ඒකට හොඳට ඇහුම්කන් දුන්නා. ඒ ගැන හොඳට හොයල බැලුවා. ඉගෙනගත්තා. ඉතිං ඒ නිසාම මගේ ජපන් ඇල්ටෝව විකුණන කොට ඒක ඇත්තටම හොඳ කන්ඩිෂන් එකට තිවුනා. ලොකු ගාණකට දුන්නා. දැන් ඒක පදින කෙනා ඒ කා එක හොඳට එන්ජෝයි කරනවා ඇති.
2025 ජූනි 27 තමයි මං ඒ සුසුකි ඇල්ටෝ එක දුන්නේ. ඊට පස්සේ මට ඕනේ වුනේ වෙනස් විදිහේ නෙක්ස්ට් ලෙවල් කා එකක් ගන්න. සෙකන්ඩ් හෑන්ඩ් කා එකක් නේ පැද්දේ. කොහොම හරි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න බලපන් කියලා හිත කිව්වා. තෙල් ගහ ගහ අවුරුදු දහයක් දිව්වනේ. ඉලෙක්ට්‍රික් වාහනයක් ගැනත් පොඩ්ඩක් හිතල බලන්න ඕනේ කියන අදහසත් තිබ්බා. මායි නෝනයි ඉතිං දවසක් වාහන බලන්න ගිය වෙලාවක ඔන්න හම්බුනා වාහනයක් මගේ හිතේ තිවුණු විදියටම.
ඒක බ්‍රවුන්ස් සමාගම චීනෙන් ගෙන්නන කා එකක්. බිංගෝ තමයි නම. හරි හුරුබුහුටියි. මගේ ඇල්ටෝ එකට වඩා නම් ලොකුයි. ඉලෙක්ට්‍රික්. එක චාජ් ටයිම් එකකින් කි.මි. 300 ක් වගේ දුවන්න පුළුවන්ලු. අපි දෙන්නා නැඟල බැලුවා. සැප පහසුයි. පොඩි ට්‍රයල් රන් එකකුත් ගියා. වයිෆ්ට කා එක හිතට ඇල්ලුවා කියලා දැනුන මට. වාහනේ ගාණ ලක්ෂ අසූ එකයි. එවෙලේම මං රුපියල් ලක්ෂයක් බැඳලා කා එකක් බුක් කළා. මාස තුනකින් වගේ කා එක ඒවි කියලා තමයි එතන සේල්ස් ඒජන්ට් කිව්වේ. එයාගේ වට්සැප් නම්බර් එකත් ඉල්ලගෙන අපි ගෙදර ආවා. ඒ 2025 ජූලි 28.
2025 නොවැම්බර් 21 බ්‍රවුන්ස් සමාගමේ සේල්ස් ඒජන්ට් මට එවල තිවුණා මටම වෙන්වුණු වූලිං බිංගෝ කා එකේ එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි. දැන් ඉතිං පේමන්ට් එක කරන්නයි තියෙන්නෙ. ඇල්ටෝ කාර් එක විකුණපු සල්ලියි, මං ළඟ ඉතුරු කරගෙන තිවුණු සල්ලි ටිකකුයි, තව... බැංකුවෙන් පොඩි ලෝන් එකකුයි ඔක්කොම එක්කාසු කරලා ලක්ෂ අසූවක් හදාගෙන පේමන්ට් එක කළා. ඒ 2025 නොවැම්බර් 24. දවල් 1.44යි. ලොකු සැහැල්ලුවක් හිතට දැනුනා ඒ වේලේ.
වාහනේ ලියාපදිංචි කරන්න ඕන වෙන ලියකියවිලි ලැයිස්තුවක් සේල්ස් ඒජන්ට් මට වට්සැප් කරලා තිවුනා කල්තියා. ඒ කියන්නේ 2025 අගෝස්තු 29. MTA2 ආකෘති පත්‍රයයි, මගේ පාස්පෝට් සයිස් ෆොටෝ දෙකයි, ජාතික හැඳුනුම්පතේ ෆොටෝකොපියයි, ආදායම් බදු සහතිකයයි, දිවුරුම් පෙත්සමකුයි තමයි ඕනෙ කියල තිවුනේ. ෆොටෝ දෙකටයි ෆොටෝකොපියටයි නම් වැඩි වෙලා ගියේ නැහැ. MTA2 ආකෘති පත්‍රයත් මං දන්න ටික විතරයි පිරෙව්වේ. දන්නේ නැති විස්තර ඉතුරු කළා.
බ්‍රවුන්ස් සේල්ස් ඒජන්ට් මාත් එක්ක බොහොම හිතවත් ඒ වෙද්දී. එයා කිව්වා MTA2 හිස් තියෙන තැන් එයාම පුරවගන්නම් කියල. මගේ අත්සන දාල දෙන්නකෝ කිව්වා.
ඉතුරු ලියකියවිලි හදාගන්න මට ගොඩක් ප්‍රයෝජනවත් වුනේ ගූගල් මැප් තමයි. මට හරියට වැඩ. රස්තියාදු වෙන්න වෙලා නැහැ. මං ගූගල් මැප් වල ටයිප් කළා "JP near me" කියල. බැලුවාම මගේ ඔෆිස් එකේ ලඟම ඉන්නවානේ දිවයිනටම සාම විනිසුරු කෙනෙක්. දිවුරුම් පෙත්සම ගොඩ දාල දුන්නේ එයා තමයි. "inland revenue department near me" ටයිප් කළාම නම් ටිකක් දුර තැනක් තමයි පෙන්නුවේ. මං ලන්ච් ටයිම් ගියා එතෙන්ට. එතෙන හිටපු ඔෆිසර් සතපහක්වත් නොගෙන මට ආදායම් බදු සහතිකය ප්‍රින්ටවුට් එකක් දාල දුන්නා. ඔබතුමාට බොහොම ස්තුතියි ඉතිං.
2025 දෙසැම්බර් 02 වෙනිදා බිංගෝ කා එක රෙජිස්ට කරන්න ඕනෙ ඔක්කොම ලියකියවිලි ටික මං බ්‍රවුන්ස් සේල්ස් එජන්ට්ගේ අතටම දුන්නා. රු. 56,500 ක් තමයි ලියාපදිංචි ගාස්තුව. දැන් ඉතිං තියෙන්නේ vehicle registration number එක එනකම් පොඩ්ඩක් ඉවසීමෙන් බලං ඉන්න එක තමයි. නම්බර් තහඩු නැතිව වාහනයක් පාරේ අරං යන්න බැහැනේ.
ඒ අතරේ මං මගේ ඉන්ෂුවරන්ස් ඒජන්ට් ට කතා කළා. එයාටනම් ඉතිං ඔය ඉන්ෂුවරන්ස් එකක් දාන්න පැයක් වත් යන්නේ නැහැ. හරි කඩිසරයි. වයිෆ් කියනවා වාහනේ ෂෝ රූම් එකෙන් එළියට ගන්න කලිං හොඳ නැකතක් බලන්නලු. එයා දන්න කියන සාස්තර ඇන්ටි කෙනෙක් ඉන්නව අපේ ගේ ගාව. පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ හෙට අනිද්දා.
ඉතින් මේ බ්ලොග් එකක් පටන් ගත්තේ මං මගේ අළුත්ම අළුත් බිංගෝ කා එක පාවිච්චි කරන කොට මම මුහුණ පාන ගැටළු, ඒවාට විසඳුම්, මං අළුතෙන් හොයා ගන්න දේවල්, චාජිං පොයින්ට්ස් තියෙන තැන්, ඒවායේ තත්වය, මං යන ගමන් බිමන්, මං ඒවා ප්ලෑන් කරන හැටි ඔයත් එක්ක ශෙයා කර ගන්නයි. ඔයත් කවදාහරි ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්ත දවසට මං හොයාගත්ත දේවල් ප්‍රයෝජනවත් වේවිනෙ.
මේ වැඩේ හොඳයි කියලා ඔයාට හිතනවානම් කෝකටත් මේකට ජොයින් වෙලා ඉන්නකෝ. තේරුමක් නැහැ කියලා හිතුනොත් ඕනේ වෙලාවක අයින් වෙලා යන්න පුළුවන් නේ ඉතිං. නැවත හමුවෙනකම් අදට නවතින්නම්. ආයුබොහෝවේවා එහෙනම්.