මගේම බිංගෝ කා එක මං ගෙදර අරං ආපු මුල්ම දවස

මගේම බිංගෝ කා එක මං ගෙදර අරං ආපු මුල්ම දවස
මගේම බිංගෝ කාර් එක වටේ ඇවිද ඇවිද ඒක හිතේ හැටියට ෆොටෝ ගහපු ඒ ලස්සන හැන්දෑව

2025 දෙසැම්බර් 13 මායි වයිෆුයි යුනියන් ප්ලේස් බ්‍රවුන්ස් ෂෝ රූම් එකට ගියේ තුන්වෙනි නැත්නම් හතරවෙනි වතාවට. අපිටත් ඉතිං ගෙදෙට්ට වෙලා පාඩුවේ ඉන්න බැහැ. කොයි වෙලේත් හිතේ දෙගිඩියාව කවද්ද අපේ බිංගෝ කා එක රිලීස් කරගන්න පුළුවන් වෙන්නේ කියල. පේමන්ට්ස් කරලත් දවස් විස්සක් විතර ගිහින් නේ.

ෂෝ රූම් එකේ වයිෆ්ට පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියල මං ගියා ඊට පිටිපස්සේ තියෙනවා කියපු බ්‍රවුන්ස් හබ් එකට. වාහන රිලීස් කරන ඔක්කොම ඩොකියුමන්ටේෂන් පාට් එක වෙන්නේ එතනින්. එතන සිකුරිටි මහත්තයා ලිස්ට් එකක් දිහා බලාගෙන එන එන අයට විස්තර කියනවා. මගේ වාහනේ චැසි නම්බර් එක ඉල්ලගෙන එයා මගේ එකත් ටිකක් වෙලා හෙව්වා.

ටිකකින් ඉතිං මට ආවා විස්තරේ. ඒක හබ් එකේ නැහැලු. තියෙන්නේ ග්‍රෑන්ඩ්පාස් වල ඒ ගොල්ලන්ගේ වාහන යාඩ් එකකලු. ඒක රිලීස් කරන්න කලින් මට මුලින් හබ් එකෙන් කෝල් එකක් දේවිලු. අවශ්‍ය ලියකියවිලි තාම ලෑස්ති කරන ගමන්ලු. පොඩ්ඩක් ඉවසන්නලු.

2025 ජූලි 28 ඉඳන් ඉවසපු මට ඕකත් වැඩක්ද කියල මං එන්න ආවා. වයිෆත් මගේ කතාව හොඳට අහං ඉඳල, එවේලේම ඒක අනෙක් කනෙන් පිට කරලා මාවත් ඇදගෙන ගියා BMICH එකේ එවෙලේ ජයට තියෙනවය කියල එයාට ආරංචි වෙලා තිවුණු කලම්බු ෂොපින් ෆෙස්ටිවල් බලන්න. වාහනයක් නැහැනේ. ඌබර් තමා ඉතිං. ගිය හැටියේම මුලින්ම දැක්කෙත් වූලිං බිංගෝ කා එකක් ප්‍රදර්ශනේට තියල තියන හැටි. අපි දෙන්න තඩි හොට් ඩොග් දෙකක් අරං ඒවත් කකා දිලිසෙන කා එක දිහා ආසාවෙන් බලං හිටිය.

හවස 3:52 ට 0117-716-111 කියල නම්බර් එකකින් මට කෝල් එකක් එන කොට වයිෆ් හිටියේ ඇඳුම් වගයක් තෝර තෝර. එයා දැක්කේ නැහැ මට කෝල් එකක් එන එක. මං ආන්සර් කළා. කථා කළේ ලේඩි කෙනෙක්. එයා මට කිව්වා කා එක කලෙක්ට් කර ගන්න පුළුවන්. සඳුදා හවස තුනෙන් පස්සෙ හබ් එකට එන්න කියල.

මං කිව්වා, අයියෝ මිස් අපි දැන් ඔතෙන්ට ඇවිල්ලා ගියා විතරනේ කියලා. එයා කිව්වා සඳුදට තමයි කා එක රිලීස් කරන්නේ කියලා. මං හරි ඕකේ කියල කෝල් එක කට් කළා. වයිෆ්ට මොකුත්ම නොකියා එයත් එක්ක මං ගෙදර ගියා. එදා සෙනසුරාදා. තව දවස් දෙකයි සඳුදට. එදාට දෙන්නම් හොඳ සප්‍රයිස් එකක් ඔයාට කියලා හිතා ගත්තා මං.

සඳුදා මං ෂෝට් ලීව් එකක් අරගෙන හවස්වරුවේ ගියා බ්‍රවුන්ස් හබ් එකට. මගේ ඔෆිස් එකේ යාළුවෙකුත් සෙට් වුණා එවේලේ. එයා ඇවිල්ලා හිටියේ නම් ෆැමිලි එකත් එක්කමයි. හැබැයි ඕඩර් කරල තිවුණේ අර ලක්ෂ හතළිස් පහේ / හතේ චූටි කා එක. BAW කියන්නේ. අන්න ඒක. ඒකත් ඉතිං අවුලක් නැහැ ෂෝට් ඩිස්ටන්ස් වලට. පොඩි පවුලකට වටිනවා.

හබ් එකේ කාර් රිලීස් කරන ඔෆිසර් මාර බිසි. හැමෝම යන්නේ එයා ගාවට. හැමෝම එයා වටේට රවුමක් වගේ හිටගෙන. මං ඈතින් වාඩි වෙලා බලං හිටිය රෂ් එක අඩු වෙනකං. අපරාදේ කියන්න බැහැ පැයක් යන්න කලින් එයා මගේ වැඩේ අතට ගත්ත.

සුපිරි වැඩකරු. කම්මැලි නැහැ. එහෙ දුවනවා. මෙහෙ දුවනවා. ෆොටෝකොපි ගන්නවා. ගේට් පාස් දෙනවා. සමාවෙන්න කියනවා. ෆුල් හැපනිං. තෑගිත් දුන්නා අපිට. කුඩේකුයි. කැප් තොප්පියකුයි.

ආර්එම්වී එකෙන් නම්බර් තහඩු තාම ඇවිත් නැහැ. ඒ නිසා කා එකේ ඉස්සරහ වින්ස්ක්‍රින් එකේ අලවන ස්ටිකර් එකත් නැහැ. මගේ කා එකේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක කොළ දෙකක ප්‍රින්ට් කරලා හබ් එකෙන් හම්බුණා. එල්ලගන්න කම්බි කෑල්ලකුත් දුන්න නම් තමයි හොඳ. ඕනේ නැහැ අනේ. විහිළුවක් කළේ.

අපේ කාර් තාම හබ් එකට ගෙනවිත් නැති නිසා එතැනින් වාහනයක් ලෑස්ති කරල තිවුණා අපිට ග්‍රෑන්ඩ්පාස් යාඩ් එකට යන්න. බෑග් උස්සගෙන තෑගි උස්සගෙන අපිත් ඉතිං නැග්ග ඒකට. කරදරයක් නැහැ ගමන. පැය බාගෙකින් විතර අපි යාඩ් එකේ. හබ් එකේ කාර් රිලීස් කරන ඔෆිසර් අපිත් එක්කම ආවා යාඩ් එකට.

එතෙන්ට ගියාම මාව කරකෝල අතෑරියා වගේ. කා එක එළියට ගන්න මොන නැකත් ද කියල හිතුනා මට එවෙලේ. එතන කාර් සිය ගානක් එකදිගට නවත්තල. ඉමක් කොනක් පෙන්නේ නැහැ. එතන එහෙම් පිටින්ම කඩි ගුළක්. නැකත් හදන්නනම් බැහැ මේ සම්මජ්ජාතියේ ඒ සුමේට ගැළපෙන්න.

යාඩ් එකේ කාර් රිලීස් කරන්න වෙනම ඔෆිස කෙනෙක් හිටියා. මෑන් නම් නියම ජෙන්ටා. බට් ටෆ්. එහෙම නැතිව බැරිව ඇති. හයි රෙස්පොන්සිබිල්ටි නේ. වාහනයක් එහෙ මෙහෙ වුනොත් සෙල්ලං නැහැනේ ඉතිං.

මගේ අතට රිමෝට් ස්ටාට් යතුරු දීලා මට විශ් කළා හැමෝම. ඔයාල හැමෝටම බොහොම ස්තුතියි ඉතිං. ආයේ දවසක එන්නම් හම්බවෙන්න වෙලාවක. කේක් එහෙම අරගෙන.

මගේ බිංගෝ කා එක යාඩ් එකේ ගේට් එක ළඟටම ගෙනවිත් තිවුණා ලියකියවිලි වැඩ ඔක්කොම ඉවර වෙනකොට. වටේම ඇවිද ඇවිද හිතේ හැටියට ෆොටෝ ගැහුවා. ඉන්ෂුවරන්ස් එකට යැව්වා ඔක්කොම ෆොටෝ. විනාඩි පහෙන් මට කවර් නෝට් එකක් එවල තිවුනා. ලොකු දෙයක් ඒක එවෙලේ. වාහනේ අරං යන කොට පොලිසියෙන් නැවත්තුවොත් පෙන්නන දෙයක් තියෙන්නත් ඕනෙනේ.

යතුරු ටිකත් අරං කා එක ලඟට යනකොට ලයිට් පත්තු වෙලා දොරවල් අන්ලොක් වුනා. අන්ලොක් බට්න් ප්‍රෙස් කරන්න ඕනේ වුනේ නැහැ. පොඩි බයකුත් ආවා. වෙන කෙනෙක්ටත් ඒ විදියටම පුළුවන් නේ යතුර අතට ගත්තොත්. ඒ ක්‍රමේ ආරක්ෂාව අඩු නම් පස්සේ ඕවා වෙනස් කර ගන්න බැරිය කියල හිතා ගෙන දොර ප්‍රවේසමෙන් ඇරලා නැග්ගා කා එකට.

බ්රේක් එකට කකුල තියල පාකිං මෝඩ් එක ඩ්‍රයිව් මෝඩ් එකට සිලෙක්ට් කරපු වෙලාවේ දැනුනු හැඟීම විස්තර කරන්න අමාරුයි. ජීවිතේ පළවෙනි වතාවට බ්‍රෑන්ඩ්නිව් වාහනයක් මගේම කරගෙන ඒක ස්ටාට් කරපු මොහොත. මං හිතන්නේ අවුරුදු විස්සක හීනයක් සැබෑවක් වුණු මොහොත. හවස 5:30 යි වෙලාව. හරිම නිස්කලංක හැඟීමක්. ඔයාලට කියන්නම් දෙයක්. හීනයක් තියෙනවනම් හිතේ, ඒක සැළසුමක් බවට පත් කරගන්න. අනිවාර්යෙන් ඔයා දිනනවාම තමයි.

කොහේදෝ කවදාහෝ දැක්කා මෙන්න මේ කවිය ත්‍රී වීලර් එකක පිටිපස්සේ ජනේලේ අලවල තියෙනවා. ඔයා මේක දැනටමත් දැකල ඇති. නමුත් කෝකටත් මෙතන කොටල තියන්නම්කො.

සංසුන් මනසකට
නොපසුබට වීර්යයට
තිරසාර අදිටනට
පරාජය උරුම නැත

ඇත්තම ඇත්ත අප්පා ඒක නම්. ඔය නිකං පුහු විශ්වාසවත්, මති මතාන්තර පස්සෙවත් දුවන්න එපා කවදාවත්. නිවැරදි දත්ත සහ තහවුරු කරගත් තොරතුරු මත ජීවිතයේ වැදගත් තීරණ ගන්න. හැබැයි අර කවියෙ තියෙන ගතිගුණත් ආරක්ෂා කර ගෙනම. ඔයා දිනනවාම තමයි.

ග්‍රෑන්ඩ්පාස් ඉඳන් බොරැල්ල හරහා යූනියන් ප්ලේස්, එතන ඉඳන් ගෙදරට, කා එක මං හරි ප්‍රවේසමෙන් අරං ආවා. කොළඹ ජීවිතේ මං අවුරුදු තිහකට වැඩියි. බයික් එකෙන්, කා එකෙන්, කොවිඩ් කාලෙදි මවුන්ටන් බයික් එකෙනුත් මං කොළඹ වැඩට ගිහින් ගෙදර ආවා. හිතේ ගට තමයි නිතරම මට දිනුම ගෙනාවේ.

ඒ වුනාට කොච්චර හුරු පුරුදු වුනත් බිංගෝ මට අළුත්. ඉතිං හෙමින් ඩ්‍රයිව් කළේ. ට්‍රැෆික් එකේ එක තැනකදී මං ඩ්‍රයිව් මෝඩ්, පාකිං මෝඩ් වලට මාරු කළා. ඇල්ටෝවෙනම් ඕවා නිකං වෙඩි වගේ. මේකේ ඉතිං එහෙම හදිස්සියෙ මොකුත් කරන්න ලෝබයි. කිරි කිරි නොබ් එකක් සටස් සටස් ගාල දෙපැත්තට කරකවන්න විතරයි තියෙන්නෙ. මොනව කළත් බ්රේක් එකට කකුල තියාගෙන.

ට්‍රැෆික් ලයිට් වෙනස් වුන ගමන් මට ඩ්‍රයිව් මෝඩ්වලට දාගන්න පොඩි ප්‍රමාදයක් වුනා. කකුල බ්‍රේක් එකට ආවෙත් නැහැ. පිටිපස්සේ වාහන හෝන් ගහනවා කණ පැළෙන්න. කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා සාමාන්‍ය දැනීමෙන්. හැබැයි අරගොල්ලෝ නම් තාම මට බයිනවා ඇති. සමාවෙන්න ඉතිං. පළවෙනි වතාවනේ.

බිංගෝ එකේ ඒසී එක මාරම පවර්ෆුල්. ග්‍රෑන්ඩ්පාස් යාඩ් එකෙන් පිටත්වෙලා ටික වෙලාවක් යනකොට මගේ අතපය අයිස් වගේ. එයා කොන්ට්‍රෝල් වලට නොබ් තුනක් තියෙනවා ඩෑෂ් බෝඩ් එකේ මැද. මං තුනම වමට කරකවල ඕෆ් කරල දැම්ම. යූනියන් ප්ලේස් පහු කරනකොට ගොඩක් අඩුවෙන් ආයේ ඒසී ඔන් කළා. ඒක අර ඩෑෂ් බෝඩ් එකේ මැද තියෙන නොබ්ස් වලින් විතරක් නෙවෙයි. ස්ක්‍රීන් එකෙනුත් කරන්න පුළුවන්.

බිංගෝ එකේ ඒසී කොන්ට්‍රෝල් ගැන සම්පූර්ණ විස්තරයක් ස්ක්‍රීන් ෂොට් එක්කම අරං එන්නම් දවසක. මගේ වැරදි අඩු පාඩු තිවුනොත් මට කියනවා නේද.

ගෙදර ඇවිත් සද්ද නැතිව කා එක රිවස් කරලා ගැහුවා පෝච් එක යට. හුළඟක සද්දයක්වත් නැහැනේ බිංගෝ එකේ. වයිෆ්ට ඇහුනේ නැහැ මොකුත් ම. අපි ඉන්නේ උඩ තට්ටුවක. මං දොර ඇරගෙන ඇතුළට එනකොට එයා කුස්සියේ ලොකු වැඩක්. මං බ්‍රවුන්ස් එකට අද යන බව නම් එයා දැනං හිටියෙ. හැබැයි වාහනේ රිලීස් කරගන්න එක ගැන එයාට ලොකු ෂුවර් එකක් තිබ්බෙ නැහැ කියල මං දන්නව. වාහනේ හෙට හම්බවෙයි, කියාගෙනම මං වොෂ් රූම් එකට ගියා.

රෑ නිදාගන්නකංම එයා එක එක වැඩ. මුළු රෑම එයාගේ සිහිය නැකතකට කොහොමද කා එක ෂෝ රූම් එකෙන් එළියට ගන්නේ කොහොමද කියන එක. සාස්තර ඇන්ටිව හම්බෙන්න යන්නේ කවද්ද කියලමයි මගෙන් නිතර නිතර ඇහුවේ. ඒකෙත් හැටි කියන්නේ එයාට ඉස්සරහ දොර ඇරගෙන එළියට යන්න ඕන වුනේම නැහැ. එළියට ගියා නම් බිංගෝ ව දකිනවා. ඊළඟ දවසේ උදෙන්ම ඇහැරිලා මං වැඩට ගියා. වයිෆ් වැඩට යන්නේ මට පස්සේ. එතකොට දකී නේ.

මං ඔෆිස් එකේ වැඩ අස්සේ එයා කෝල් කළා මට. හොඳටම හිනා වේවි. සප්‍රයිස් කළා නේද හොර ගෙඩියා මාව කියලා. දැන් ඉතිං මොන නැකත් ද කියලත් කිව්වා දුකින් වගේ. මං කිව්වා, නැහැ ඔයා හොඳ නැකතක් බලන්න. ඔයා තාම වාහනේට නැග්ගෙත් නැහැනේ. තාම අපි අපේම කියල ගමනක් ගියෙත් නැහැනේ බිංගෝවෙන්. අපි නැකතට පිටත් වෙමු පංසල්. හොඳයිනේ. එයත් කැමති වුණා එක පයින්. ඉතිං ඒ කතාව පස්සේ දවසක කියන්නම් හොඳේ.

ඔන්න ඔහොම තමයි මං මගේම බිංගෝ කා එක ගෙදර අරං ආවේ ග්‍රෑන්ඩ්පාස් ඉඳන්. හදවතින්ම ලස්සන දවසක් එදා. නැවත හමුවෙනකම් අදට නවතින්නම්. මේ බ්ලොග් එකට ඔයාගේ ඊමේල් එක දීලා තිබ්බොත් මං ඊළඟ පෝස්ට් එක පබ්ලිෂ් කරන කොට ඔයාට නොටිෆිකේෂන් ඒවි. ආයුබොහෝවේවා එහෙනම්.