බිංගෝ ව මුලින්ම චාර්ජ් කරද්දි වෙච්ච ඇබැද්දි
ටෙම්පරි නම්බර් ප්ලේට් ගහල, ස්ටිකර් ගාඩ් දාල ඉවරයි. මගේ දැන් සූදානම හොඳ නැකතකට පන්සල් ගිහින් වතාවත් කරල භාරහාර වෙලා ගමේ ගිහින් මගේ අම්මවයි තාත්තවයි වයිෆ්ගේ අම්මවයි තාත්තවයි බලල එන්න. ඒගොල්ලො තාම දන්නේ නැහැ මං කා එකක් ගත්ත කියල. පොඩි සර්ප්‍රයිස් එකක් කරන්නයි මට ඕනේ වුනේ.
ටෙස්ට් රන් වලට බ්‍රවුන්ස් ගිය වෙලේ මං දැන හඳුනගත්ත ඉංජිනියර් කෙනෙක් හිටිය ඕන වෙලාවක මං කෝල් එකක් ගත්තොත් එවෙලේම ආන්සර් කරන. මං කතා කරල විස්තර කළා එයාට මගේ වුවමනාව.
"මිස්ට, මට ලොකු ට්‍රිප් එකක් යන්න තියෙනව නත්තල් නිවාඩුව අල්ලල. මට පුළුවන්ද කා එකේ ඕවරෝල් චෙකප් එකක් කර ගන්න. බ්රේක් ඔයිල්, කූලන්ට්, බැටරි චාර්ජ්, මෙකැනිකල් පැත්ත ඔය හැමදේම වගේ. සල්ලි ප්‍රශ්නයක් නැහැ"
එයා දුන්නේ බොහොම සරල උත්තරයක්. "සර් ඔයා බලන්න කා වින්ඩ්ස්ක්‍රීන් එකේ උඩ දකුණු පැත්තේ PDI done කියල කහපාට රවුම් ස්ටිකර් එකක් ගහල තියෙනවද කියල"
ගිහින් බැලුව මං. ඇත්ත තමයි. තියෙනව.

"එහෙනම් ඕකේ. සර් පරිස්සමින් ගමන ගිහින් එන්න. හරියට චාජ් වෙනවද කියල විතරක් පොඩ්ඩක් චෙක් කරගන්නකො සර්. කීල්ස් එකකින් වගේ ඒක කරගන්න පුළුවන්."
ඉන්ටනෙට් එකේ ගහල බැලුව PDI done කියන එකේ තේරුම. අයියෝ හරි සරලයි නෙ. වාහනයක් ගැනුම්කරුට භාරදෙන්න කලින් වාහනේ ඔක්කොම දේවල් හරියට තියෙනවද කියල ටෙස්ට් කරන එක තමයි PDI කියන්නේ. PDI done කියන්නේ "හැමදේම ටෙස්ට් කරල තියෙන්නේ" කියන එකයි.
දැන් දැන් එහෙනම් මං කරගන්න ඕනේ බිංගෝව පොඩ්ඩක් චාජ් කර ගන්න එකයි, රෝද වල හුළං ටිකක් බලා ගන්න එකයි. මං ඉස්සර පැදපු ඇල්ටෝව ට අවුරුදු දහයක් තිස්සෙම මං ගැහුවෙ නයිට්‍රජන්. එහෙම කළාම ගොඩක් බෙනිෆිට්ස් තියෙනව කියල මං ඉන්ටනෙට් එකේ දැකල තිවුන. ටයර් කල් පැවැත්ම, හුළං අඩුවෙන්නෙ හෙමිහිට, ඉන්ධන පිරිමැස්ම ... ඔන්න ඔය වගේ දේවල්.
ඒ වුණාට බ්‍රවුන්ස් ඉංජිනියර් ගෙන් ආවේ වෙනම නිව්ස් එකක්. බිංගෝ වේ ටයර් වලට නයිට්‍රජන් ගැහුවම මොකක්දෝ ෆෝල්ට් එකක් එනවලු. නෝමල් එයාර් ගහන්නලු. හොඳ වෙලාවට කතා කළේ. නැත්නම් අනිවා මං ගහන්නේ නයිට්‍රජන්. අපිත් ඉතිං වාහෙනට තියෙන ආදරේට හොඳම දේ නේ කරන්න යන්නෙ.
ගෙදර චාජ් කරන්න එච්චර හිතට ෆිට් එකක් තිවුණේ නැහැ. මට ඕනේ වුණේ මගේ බිංගෝව පළවෙනි වතාවට චාජ් කරන වැඩේ හොඳ තැනකින් වගකීමකින් කරගන්න. ගූගල් මැප් වලින් පෙන්නුවා බොරලැස්ගමුවේ චාජිං ස්ටේෂන් එකක්. රිවීව්ස් එහෙම හොඳයි. විශේෂයෙන්ම චාර්ජ් කරන වැඩේ භාර අරගෙන දුවල පැනල වැඩ කරන සිකුරිටි මහත්තයෙක් ගැන හැමෝම හොඳ කියල තිවුන. කතාව ඇත්ත. මං ගිහිං වාහනේ නැවැත්තුවත් හරි එයා ඇවිල්ල චාජිං පෝට් එක ඇරල බිංගෝ ව චාජ් කරන්න ලෑස්ති වෙලත් ඉවරයි.
මං හනික වාහනෙන් බැහැල සිකුරිටි මහත්තයට විස්තරේ කිව්වා. මේක අළුතෙන්ම ගත්තෙ. පළවෙනි වතාවට චාර්ජ් කරන්නෙ. නත්තලට ලොකු ට්‍රිප් එකක් යන්න තියෙනවා. දන්නවනෙ ඉතිං. ඔළුවට එන හැමදේම.
එයා මං තරම් කලබල නැහැ. "මං අද උදෙත් මේ වගේ එකක් චාජ් කළා. සර් ගිහින් වාඩි වෙලා ඉන්නකො. චාජ් වෙලා ඉවරවුණු ගමන් මං කියන්නම් සර් ට"
චාජිං ගන් එක චාජිං පෝට් එකට ඔබන ගමන් සිකුරිටි මහත්තය මට කිව්ව. වාහනේ එවේලේ තිවුණු චාජ් එක 65% වගේ. චාජිං මැෂින් එකේ ස්ක්‍රීන් එකෙත් පේනවා ඒක. බිංගෝ ඩෑෂ් බෝඩ් ස්ක්‍රීන් එකෙත් පේනවා ඒක. චාජිං කියල පේන්න ගත්තහම ඉතිං වාහනේ වටේ කැරකි කැරකි ඉඳල වැඩක් නැහැනේ. අර මනුස්සයටත් මාව ඇනයක් වුනොත් කියල මං චාජිං ස්ටේෂන් එකේ දොර ඇරගෙන ඇතුළට ගියා.
ඔන්න බිංගෝවක් ගත්ත එක ගැන ආයෙත් පුංචි සතුටක් දැනුණු වෙලාව. මං පෙට්‍රෝල් වාහනයක් ගත්තනම් ඉන්නේ පෙට්‍රල් ෂෙඩ් එකක වේලි වේලි. වාහනේ ඇතුළට වෙලා. දාඩිය දම දම. ඊවී චාජිං සංස්කෘතියම වෙනස්. ඒවට එන්නෙත් වෙනම පැලැන්තියක්. වාඩි වෙලා ඉන්න සෙටි. එයාකන්ඩිශනිං. සැප පහසු පරිසරයක්. ඒක ලොකු ඔෆිස් එකක්. ස්ටාෆ් එක මාර සීරියස්. කම්පියුටර් ඉස්සරහ තදට වැඩ.
ඉතාම පැහැදිලියි. මේ චාජිං ස්ටේෂන් තමයි ඉස්සරහට ලංකාවේ එකොනොමි එක රන් කරන්නේ. මේවා ඊළඟට හැදෙන්නේ ලොකු ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, ත්‍රීඩී ෆිල්ම් තියටර්, කිඩ්ස් ප්ලේග්‍රවුන්ඩ්, ඩ්‍රයිව් ත්රූ වගේම හයිටී, පූල් ඇක්සස්, ජිම්, ස්පා, ෆ්‍රී වයිෆයි තියෙන ස්ටා ක්ලාස් හොටෙල් එක්ක.
ඇයි ඉතිං පැයක් දෙකක් මෙතන රැඳෙන්න වෙනවනේ එන හැමෝටම. බිස්නස් හැදෙනවා වටේටම. ඉන්වෙස්ටස් ල මෝඩයෝ නොවෙයිනේ. හොඳට අපේ බිහෙවියර් එක ඇනලයිස් කරල ගහවි සුපිරි මට්ටමේ නෙක්ස්ට් ලෙවල් ගේමක්.
අද මං මෙහෙම ආපු හැටියේ චාජිං පටන් ගත්තට වෙන වෙලාවක නම් ආයේ කතා දෙකක් නැහැ මට කලිං ආපු වාහන වල වැඩ ටික ඉවර වෙනකම් ඉන්නම වෙනවා. කවුරුහරි රස්තියාදු වෙනවනම් කොතැනක හරි, එතන බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. හැබැයි හරියටම වටහාගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියල.
පෙට්‍රල් ෂෙඩ් වල ඔයාල දැකල ඇති නේ පොඩි පොඩි ෂොප් දාල තියෙනවා. නමුත් ලොකුවට ඒවා දියුණු වෙන්නේ නැහැ. පෙට්‍රල් ගහගන්න එන මිනිහා ඒවාට ගොඩ වුනොත් ගොඩ වෙන්නේ දුර ගමනක් යනකොට ග්‍රොසරියක් පේන තෙක් මානෙක නැත්නම්. වැඩිම වුනොත් වොෂ් රූම් එකට යාවි. පෙට්‍රල් ටික ඉක්මනට ගහගත්තා. ගමන ගියා. හැබැයි ඊවී චාජිං වල රස්තියාදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතිං බිස්නස් හැදෙනවා.
සිකුරිටි මහත්තය දොරෙන් ඇතුළට එබුනා. "හරි සර් චාජ් කරල ඉවරයි" මගේ අතට බිල කඩල දෙන ගමන් එයා හිනා වෙලා කිව්වා. මං කවුන්ටරේට ගියාම එතන කාඩ් පේමන්ට් තිවුණා. ගාණ රුපියල් දාහක් වගේ ගියා. හරියටම මතක නැහැ. එක දෙයක් මතකයි. කිසිම රස්තියාදුවක් වුණේ නැහැ මං හිතන් හිටපු විදිහට. හැබැයි වාහන දෙක තුනක් පෝලිමේ තිවුණ නම් පරිප්පුවක් සෙට් වෙන්න තිබුනා අනිවා.
මං මේ පළවෙනියටම කළේ ෆාස්ට් චාජිං එකක්. ස්ලෝ චාජිං ට්‍රයි කරනවා ගමේ ගිහිං.
ඉංජිනියර් කියපු විදියට නම් ටයර් වල හුළං මට්ටම 34 වගේ තියාගන්න ඕනෙලු. ඇල්ටෝවට මං ගැහුවෙ 30 ක්. නයිට්‍රජන් වලට රු. 200 ක් විතර ගියා ඒ දවස්වල. මේකට නෝමල් එයාර් නෙ. රු. 100 යි ද කොහෙද ගත්තේ.
2025 දෙසැම්බර් 20 උදේ මායි වයිෆයි (නැහැ ඒ ඉන්ටනෙට් යන වයිෆයි නෙවෙයි. මං බෙල්ලෙ එල්ල ගත්ත වයිෆයි) උදේ 10:45 ට යෙදුනු සුභ නැකතින් පන්සල් ගියා. අපි දෙන්න පළවෙනි වතාවට එකට බිංගෝවෙ ගිය දවස තමයි ඒ.
දෙසැම්බර් 24 හවස අපි දවස් හතරෙ නිවාඩුවට ගෙදර යන්න පිටත් වෙනකොට බිංගෝව හොඳට ගමනට රෙඩි. වින්ඩ්ස්ක්‍රින් ක්ලීනින් වලට වතුර ටිකක් පුරව ගත්තේ නම් නැහැ. ඒකට කොලිටි ක්ලිනර් එකක් බ්‍රවුන්ස් එකෙන් අහල දැන ගන්නව කියල හිත හිත හිටියෙ. ඇත්තම කතාව ඉතිං වතුර තමයි වෙන්න ඇති හොඳම. වින්ඩ්ස්ක්‍රින් එක වැස්සටත් ඔහෙ තෙමෙන එකනේ.
ඇල්පිටිය ගොළුවමුල්ල තමයි වයිෆ්ගේ මහ ගෙවල්. මෙහෙ ඉතිං ඔක්කොම සල්ලි කාරයෝ කුරුඳු, තේ, රබර්, වී, ගල් කොරි අයිතිකාරයෝ තමයි. දෙසැම්බර් 25 උදේ මං ස්ලෝ චාජිං කළා. චාජිං ගන් එකේ වයර් එක දිග මදි. ක්ලිප්සල් බ්‍රෑන්ඩ් එකේ හොඳ මල්ටිප්ලග් එකකින් තමයි කරන්ට් ගත්තේ. ඒත් ඒකේ ප්ලග් ටොප් එක හොඳටම හීට් වුණා. 55% ඉඳන් 65% වෙනකම් චාජ් කරල වැඩේ නැවැත්තුව. බයයි නෙ.
දෙසැම්බර් 26 අපේ තාත්තගේ උපන්දිනේ. සුනාමි ආපු දවස. ඇල්පිටි ඉඳන් බේරුවල ආවා. එන ගමන් ටිකක් හොඳ ප්ලග් ටොප් එකක් ගත්ත හාඩ්වෙයාර් එකකින්. බර්ත්ඩේ පාටි එක නැගල යන අතරේ මල්ටිප්ලග් එකේ ප්ලග් ටොප් එක මාරු කරල ආයේ චාජ් කරන්න පටන් ගත්ත.
"Cable Connected" කියල පෙන්නුවට චාජ් වෙන්නෙම නැහැ. චාජිං පොයින්ට් මාරු කරලා බැලුව. හරි ගියේ නැහැ. කිහිප සැරයක් චාජිං ගන් එක ගලවල හයි කළා. එකපාරටම හරි ගියා එක වෙලාවක. තේරුණේ නැහැ කොහොමද හරි ගියේ කියල. හැබැයි ඉතිං චාජ් වෙනවනේ, ඒ මදෑ කියල පාටියට ජොයින් වුනා. වයිෆ් ෆොටෝ ගන්නව වටේටම. මාත් ඉතිං හිටගත්තා අයිනකින්.
ආයේ අපි ඇල්පිටි එන්න පිටත් වෙන්න ඕන වෙලාව කිට්ටු වෙනකොට මං ගියා චාජිං ගන් එක ගලවල අයින් කරන්න. ඇද්ද. හෙලවෙන්නේවත් නැහැ. ආයෙත් ඇද්ද. මොනවද නිකං ගල් ගෙඩියක් වගේ. හයියෙන් ගස්ස ගස්ස ඇද්ද. වාහෙනෙත් හෙල්ලෙනව දැන් මං අදින පාරට. හීන් දාඩිය දාල මට. චාජිං ගන් එක ඇතුලෙ උණු වුනා වත්ද. ඉතිං එහෙමනම් වෝනින් සිග්නල් එන්න ඕනෙනේ.
මනුස්සයෙක් පැනික් වුණාම ඔලුවට එන දේවල් ඉතිං තනිකර පිස්සු. මට මැවිලා පේනවා මාවම දැන්. ගෙදර මේස පිහියෙන් චාජිං ගන් එකේ කේබල් එක කපලා ගන් එක එහෙම්ම තියාගෙන බ්‍රවුන්ස් කම්පැනි එකට වේගෙන් යන හැටි මං, තියෙන චාජ් එක දිහා බල බල. එක්කෝ කපන්නේ නැහැ. වීදුරුව පාත් කරලා චාජර් ඔක්කොම ඉස්සරහ සීටි එකේ තියාගෙන වයර් එක එළියෙන් එල්ලී එල්ලී බ්‍රවුන්ස් දුවනවා. අනේ මට ට්‍රැක් අනේ. ඒ වෙලේ.
හැබැයි මං හරි දේ කළා. මං ගත්ත කෝල් එකක් ඉංජිනියර් ට. එයා හරි සරලයි. ලෙඩා කලබල වුනාට දොස්තර කලබල නැහැනේ. ස්මාට් කී එක වාහනේ ලඟට ගිහින් දෙවතාවක් වාහනේ අන්ලොක් කරන්න කිව්වා මට. කළා. චාජිං ගන් එක එළියට ආවා. දාඩිය හෙමිහිට වේලුනා මගේ.
මේ චාජිං පෝට් එක ඇතුළේ ලොක් එකක් තියෙනවා. ඒක නිකං එළියට පෙන්නේ සුදු යකඩ කූරක් වගේ. ඒක එළියට පේනවනම් ඔයාට චාජිං ගන් එක ඇතුලට දාන්න බැහැ.
දැන් වෙලාව රෑ එකොළහයි. දවල් වෙලාවක මං ෆොටෝ එකක් දාන්නම්කො ලොක් එක එළියෙන් පේන විදිහ ඔයාටත් බලාගන්න. මට මතක් කරනවා නේද අමතක වුනොත්.
මේ චාජිං කරපු වෙලාව, ප්‍රමාණය, ඒ අනුව බිංගෝව දිව්ව දුර, ඉතුරු වුනු තෙල් වියදම, ගමනට අමතරව එයාර් කන්ඩිෂනිං වගේ චාජ් එක භාවිතා වුනු අනෙකුත් අවශ්‍යතා ගැන විස්තර බිංගෝ එකේ මෙමරි එකේ කොහේ හරි සේව් වෙනවනම් ඇත්තටම වටිනව.
ඒ වගේම ටයර් වල හුලං තත්වය, බ්රේක් ඔයිල්, ගියර් ඔයිල්, වින්ඩ්ස්ක්‍රින් ක්ලිනර් වගේ දේවල් කොහොමද වැය වෙන්නේ වගේ විස්තර ටිකක් ස්ක්‍රීන් එකට ලෝඩ් කරලා බලන්න තිබ්බ නම් හොඳයි.
නිතරම පේන්න ඕනේ නැහැ. අවශ්‍ය වෙලාවට තිබ්බ නම් ඇති. සති දෙකකට සැරයක්වත් ඉතිං ඒවා ඕනම වාහනයක හොයල බලන්න ඕනෙනෙ. ඇල්ටෝ එකේ නම් මං ඕවා තිතට ගණන් තියාගෙන පාවිච්චි කළේ. බිංගෝවෙත් හෙව්වා settings වල. හම්බුනේ නැහැ. ඔයා දැක්කොත් මට පොඩ්ඩක් කියනව නේද.
දැනට පේජ් එකක් හදල තියන්නම් මට පුළුවන් විදිහට චාජිං ටයිම් එක දාල. දළ අදහසක් ගන්න පුළුවන් නෙ. ඊවී එකක් ගත්තොත් කොහොමද චාජිං තත්වය පවත්වාගෙන යන්නෙ කියන එක.
නැවත හමුවෙනකම් අදට නවතින්නම්. මේ බ්ලොග් එකට ඔයාගේ ඊමේල් එක දීලා තිබ්බොත් මං ඊළඟ පෝස්ට් එක පබ්ලිෂ් කරන කොට ඔයාට නොටිෆිකේෂන් ඒවි. එතකන් ආයුබොහෝවේවා එහෙනම්.