බිංගෝ කා එකේ පරිස්සමට ප්ලාස්ටික් ස්ටිකර් කවර ඇලෙව්වා

බිංගෝ කා එකේ පරිස්සමට ප්ලාස්ටික් ස්ටිකර් කවර ඇලෙව්වා
දොරවල් හතරෙම ඇතුල් පැත්තෙ නිතරම කකුල වදින මට්ටමට ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් ප්‍රොටෙක්ෂන් / ගාඩ් අලවපු විදිය (2025 දෙසැම්බර් 18 හවස පහට විතර)

බිංගෝ එකේ වෙහිකල් නම්බර් එක කා එකේ එල්ලගන්න කියල මට බ්‍රවුන්ස් එකෙන් ඒ-ෆෝ කොළ දෙකක් ප්‍රින්ට් කරලා දීලා තිවුණත් මට ඕනේ වුනේ හොඳ ප්‍රොෆෙෂනල් විදිහට නම්බර් ප්ලේට් දෙකක් හදවගන්න. ආර්එම්වී එකෙන් නම්බර් ප්ලේට් ඉෂූ වෙන්න කාලයක් යාවි කියල හිතුනා ඉන්ටනෙට් එකේ සමහර නිව්ස් දැක්කම.

ඉතිං මං ඇල්ටෝ එක විකුණන්න ලෑස්ති කරන වෙලාවේ ඒකෙ ටින්ටඩ් වැඩ ටික මට සුපිරියටම කරලා දුන්නු අහිංසක කොල්ලෙක් හිටියා රත්තනපිටියෙ. එයාට කෝල් කළාම කිව්වා වාහනේ අරං එන්න, වැඩ ටික කරලා දෙන්නම් වරුවකින් වගේ කියල. තව වාහන පෝලිමේ තියෙන්න පුළුවන් නිසා මං වෙලාවක් ඉල්ල ගත්තා කල්තියා. රස්තියාදුවක් නැහැනේ.

නම්බර් ප්ලේට්ස් ඩිසයින් කරන්න මුලින්ම බිංගෝවෙ ෆොටෝස් දෙකක් ඕනේ වුනා එයාට. ඉස්සරහ මුහුණතයි. පිටුපස්සේ මුහුණතයි. නැතුව හිතාගන්න බැහැනෙ කොයි විදියෙ නම්බර් ප්ලේට්ස්ද හොඳටම වෙහිකල් එකට ගැළපෙන්නෙ කියල. ෆොටෝස් වට්සැප් කළා. ඇඩ්වාන්ස් එකක් කළා, ඔන්ලයින් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් විදිහට. එයාට වැඩ පටන් ගන්න පුළුවන් නේ.

ඊට පස්සේ මගේ හිතේ තිවුණු වැදගත්ම දේ පැහැදිළි කරලා දුන්නා එයාට:

"ප්‍රදීප් මට කා එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට හොඳට පරිස්සම් කරගන්නයි ඕනේ. ඔයාට පුළුවන්ද වාහනේ නිතරම හීරෙන්න පුළුවන් තැන් - නාස්ති වෙලා යන්න පුළුවන් තැන් වලට මොනව හරි ගාඩ් එකක් වගේ දෙයක් දාල දෙන්න?"

ප්‍රදීප් ඔක්කොම ගණන් මිණුම් හදල මට ඔෆර් කළා හොඳ පැකේජ් එකක්. දොරවල් හතරෙම නිතරම අත ගෑවෙන දාර හතරට ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් හීනි තීරු හතරයි. ඩෝ හැන්ඩ්ල් හතරෙම, අත්වල නියපොතු වදින තැනට ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් රවුම් හතරයි—

මේවා නම් ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්නත් පුළුවන්. නමුත් බිංගෝවට කියලම හදපුව නැහැනෙ. තියෙන්නෙ ඕනෑම වෙහිකල් එකකට හරියන විදියට හදපුව තමයි. මට ඕන වුණේ ෆුලි කස්ටමයිස්ඩ් විදියට වැඩේ කරගන්න. හෑන්ඩ් මේඩ්. හරියට නූලට.

දොරවල් හතරෙම ඇතුල් පැත්තෙ නිතරම කකුල වදින මට්ටමට ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් පළල් තීරු හතරයි. බිංගෝවට ගොඩවෙන කොට, බිංගෝවෙන් බහිනකොට ඩෝ ෆ්‍රේම්වල නිතරම කකුල වදින පල්ලෙහා දාරේ සම්පූර්ණයෙන් කවර් වෙන්න ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් තීරු හතරයි—

පිටිපස්සෙ බූත් එකට ලගේජ් ලෝඩ් කරනකොට ඩෝ ෆ්‍රේම් එකේ හීරෙන්න පුළුවන් පල්ලෙහා දාරේ සම්පූර්ණයෙන් කවර් වෙන්න ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් තීරුවයි. ඔක්කොම බොහොම සාධාරණ ගාණකට.

මේ ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් ගැහුවා වගේ නෙවෙයි. කාලයක් යනකොට කුණු රැඳෙනවා. කැතට පේනවා. නමුත් මේ ප්‍රොටෙක්ෂන් මං කලින් පාවිච්චි කරපු ඇල්ටෝ එකට කරල නොතිබුණු නිසා ඒ සමහර පාට්ස් නාස්ති වුනා මතකයි. ඒක නම් ඉතිං සෙකන්ඩ් හෑන්ඩ්. බිංගෝව බ්‍රෑන්ඩ්නිව් නෙ. මේකනං ඉතිං පොඩ්ඩක්වත් සවුත්තු වෙන්න දෙන්න බැහැනෙ. පොඩ්ඩක් කුණු රැඳුනට ගානක් නැහැ. කා එක පරිස්සම් වෙනවනේ. ඒ ඇති.

ඇල්ටෝ එකේ වැඩ ටික කර ගන්න මං මාස හය හතකට උඩදි අන්තිමට ප්‍රදීප් හම්බෙන්න රත්තනපිටියට ආපු දවස මට මතකයි. එයා එදා වැඩ කළේ තනිවම. දැන් එයා ටිකක් දියුණුයි. රත්තනපිටියෙ ෂොප් එකට අමතරව පැපිලියාන පැත්තට වෙන්න තව වර්ක් ෂොප් එකකුත් ඕපන් කරලා. මං යනකොට එතන කොල්ලො තුන්දෙනෙක් ගිනි කසේට වැඩ. ප්‍රදීප් තමා බොසා. මට කලින් ආපු වාහන දෙකක වැඩ තාම ඉවර නැහැ. කොහොම හරි අද වැඩ ටික ඉවර කරගෙනම ගෙදර යනවා කියලා හිතාගෙන එතන සෙටි එකේ වාඩි වුනු හැටියෙ මට හොඳ සැපට නින්ද ගියා.

මං ඇහැරෙනකොට ටීම් එක මගේ වැඩේට ලෑස්ති වෙනව. ලඟම තියෙන කඩේකින් තේ ටිකක් බීලා කොල්ලො ටිකකටත් තේ ගෙනාව. පවුනෙ. මහන්සි වෙනවනෙ.

මුලින්ම ඒ කට්ටිය පටන් ගත්තේ බිංගෝවට ගොඩවෙන කොට, බිංගෝවෙන් බහිනකොට ඩෝ ෆ්‍රේම්වල නිතරම කකුල වදින පල්ලෙහා දාරවලට ගාඩ් දාන්නයි. කෑලි ගලවන්න කලින් මතක ඇතිව ෆොටෝ ගත්තා ඒගොල්ලො. ආයේ හයි කරන කොට තිවුණු විදියටම හයි කරන්න ඕනෙ නෙ.

ඊට පස්සෙ තමයි නිතරම කකුල වදින හාඩ් ප්ලාස්ටික් දාරේ ගැලෙව්වෙ. පරිස්සමෙන්. ඉවසීමෙන්. කැඩුනොත් ඉතිං පහුවෙලා පාට්ස් අළුතෙන් දැම්මත් වැඩක් නැහැ. බ්‍රෑන්ඩ්නිව් ෆීලින් එක ඉවරයි නෙ.

ඊටත් වඩා අත් තුවාල වෙන්නත් පුළුවන් හාඩ් ප්ලාස්ටික් එක එක පාරට කැඩිලා ගියොත්. කෑලි විසිවෙලා ඇහැකට ඇවිත් වදින්නත් පුළුවන්. ප්‍රදීප් හැබැයි කිව්වා ඒක වැඩ පටන් ගන්නකොටම. "ළමයි හැම දෙයක්ම පරිස්සමෙන්! සේෆ්ටි ෆස්ට්!"

බිංගෝවට ගොඩවෙන කොට, බිංගෝවෙන් බහිනකොට ඩෝ ෆ්‍රේම්වල නිතරම කකුල වදින පල්ලෙහා දාරේ පරිස්සමෙන් ගැලෙව්වහම පේන හැටි

පල්ලෙහා දාරේ ගැලෙව්වම දෙපැත්තෙ ඉතුරු වෙන හාඩ් ප්ලාස්ටික් කෑලි ගැලෙව්වේ ඊට පස්සෙ.

පල්ලෙහා දාරේ සම්පූර්ණයෙන් ම ගලවගෙන යනකොට පේන හැටි

තැන තැන ගලවල දාපු ඔක්කොම හාඩ් ප්ලාස්ටික් බොට්ම් ඩෝ ෆ්‍රේම්ස් ටික එක තැනකට අරගෙන පිළිවෙලකට පටන් ගත්තා ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් ප්‍රොටෙක්ෂන් / ගාඩ් දාන්න.

හරිම සීරු මාරුවෙන් කරන්න ඕන වැඩක් ඒක. රැල්ලක් ඇති නොවෙන්න, කල්පනාවෙන්. අත පුච්ච ගන්නෙ නැතිව.

හාඩ් ප්ලාස්ටික් බොට්ම් ඩෝ ෆ්‍රේම් එකකට හීට් ගන් එකකින් ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් ප්‍රොටෙක්ෂන් / ගාඩ් දාන විදිය

වාහනේ පාර අයිනේ තියාගෙන දොරවල් ඇරගෙන වැඩ කරන්න වෙලා තිවුනේ කට්ටියට. වර්ක් ෂොප් එක ඇතුළට අරං තිවුණු එක වාහනයක වැඩ ඉවර නැහැ තාම. පාරේ යන වාහනයක් පොඩ්ඩක් හරි අපේ අයිනෙන් ගියොත් කියන බය ආපු නිසා මං බූට් එකේ තිබුණු ත්‍රිකෝණයක් වගේ වෝනින් සයින් එකක් අරගෙන ඒ හරියේ තාර පාර මායිමේ හිටවල තිබ්බා. ඒක රිෆ්ලෙක්ටිව්. කල්තියා පේනවනේ.

ත්‍රිකෝණයක් වගේ වෝනින් සයින් එක අකුලලා තිබුනාම මේ වගේ තමයි. මේක බිංගෝවට ෆ්‍රී හම්බවෙන අයිටම් එකක්. පරිස්සමින් දිග අරින්න ඕන හොඳේ.
ත්‍රිකෝණය බිම හිටවන්න පහත දාරේ ස්ටෑන්ඩ් එකක් වගේ එකක් තියෙනව. ඒක අංශක 90 ට කරකවල තියන්න. පෙරළෙන්නේ නැහැ මොන හුළඟකටවත්.

එකින් එක ගලවපු හාඩ් ප්ලාස්ටික් කෑලි වලට වර්ක්ෂොප් ඇතුලේ තියාගෙන ප්ලාස්ටික් ගාඩ් දාන අතරේ, දොරවල් ඇතුළට ගාඩ් දාන වැඩේ පාර අයිනේ තියාගෙනම පටන් ගත්තා මේ විදියට.

ඊට පස්සේ දොරවල්වල දාර වලට ස්ටිකර් තීරු දාන වැඩේ පටන් ගත්තා. මේ හැම දේකටම සෑහෙන වෙලාවක් යනවා. බොහොම සංයමයෙන් කරන්න ඕන වැඩ.

ස්ටිකර් එකේ දාරේ ලොකුවට පෙන්නේ නැහැ. කාලයක් යනකොට සමහරවිට පොඩ්ඩක් හයිලයිට් වෙයි. කමක් නැහැ. දොර පරිස්සම් වෙනවනෙ. එච්චරයි ඕනේ.

ඩෝ හැන්ඩ්ල් හතරෙම, අත්වල නියපොතු වදින තැනට ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් රවුම් ඇප්ලයි කරන්න කලින් තිවුනේ මෙහෙම.

ඊට පස්සේ මෙහෙම. හොඳට බැලුවොත් පෙනෙයි ඔයාට ස්ටිකර් එකේ දාරේ.

ස්ටිකර් ගහලා ආයේ කෑලි හයි කරලා ඔක්කොම වැඩ ඉවර වෙනකොට ගොඩක් රෑ වුනා නම් තමයි. හැබැයි ඉතින් එක වරුවෙන් වැඩේ ඉවරවුනා. නම්බර් ප්ලේට්ස් ආවේ හවස. ඒවත් ලස්සනට හයි කළා. හොඳයි. සාර්ථකයි. සතුටුයි.

ඔයාගේ වාහනේටත් මේ විදියට ස්ටිකර් ගාඩ් දාන්න කියල මං යෝජනා කරන්නේ නැහැ ලොකුවට. මං මේක කළේ අර ඉතිං බිංගෝවට තියෙන ආදරේට. අවුරුදු දෙක තුනක් බලල හරියටම කියන්නම් ප්‍රතිඵලදායක ද කියල.


ඔන්න ඔහොම තමයි මං මගේ බිංගෝ කා එක පරිස්සම් වෙන්න ට්‍රාන්ස්පේරන්ට් ප්ලාස්ටික් ස්ටිකර් ප්‍රොටෙක්ෂන් / ගාඩ් දැම්මේ. ඔයාට ගොඩක් ස්තූතියි ප්‍රදීප්. ප්‍රදීප් ස්ටිකර් ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා.

නැවත හමුවෙනකම් අදට නවතින්නම්. මේ බ්ලොග් එකට ඔයාගේ ඊමේල් එක දීලා තිබ්බොත් මං ඊළඟ පෝස්ට් එක පබ්ලිෂ් කරන කොට ඔයාට නොටිෆිකේෂන් ඒවි. එතකන් ආයුබොහෝවේවා එහෙනම්.